විපක්ෂ නායක ධුරය තවදුරටත් ආර්. සම්බන්ධන් මහතාට - Siwhele Media Network,සිව්හෙළේ මාධ්‍ය ජාලය

එසැන පුවත්

ADS

Friday, August 10, 2018

විපක්ෂ නායක ධුරය තවදුරටත් ආර්. සම්බන්ධන් මහතාට

විපක්ෂනායක ධුරය ආර්. සම්බන්ධන් මහතාටම

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක වශයෙන් ආර්. සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ඇති බව කථානායක කරු ජයසූරිය මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවැසීය.

කථානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේද පැවැසීය. “නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගේ අත්සනින් යුක්තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93ක් බවත්, එයින් මන්ත්‍රීවරයන් 70 දෙනෙකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

2018 අගෝස්තු මස 07 වැනි අඟහරුවාදා පුරා පැය ගණනාවක් විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය පිළිබඳව පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරයන් විසින් මතු කරන ලද සියලු අදහස්ද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පුළුල් දැනුමක් ඇති අනෙකුත් විද්වතුන්ගේ අදහස්ද, ලෝකයේ අනෙකුත් පාර්ලිමේන්තු

සම්ප්‍රදායන්ද, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු රටවල සහ අන්තර් පාර්ලිමේන්තු සංගම් නියෝජනය කරන රටවල පිළිගත් සම්ප්‍රදායන්ද ඉතාමත්

ගැඹුරින් අධ්‍යයනය කර මාගේ අදහස් මෙලෙස ප්‍රකාශ කරමි.

අපගේ පාර්ලිමේන්තු ඉතිහාසය ගැන සලකා බැලීමේදී විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සඳහා ආණ්ඩුවට සම්බන්ධ නොවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින මහ

මැතිවරණයට තරඟ කළ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ සන්ධානයක පාර්ලිමේන්තු නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කථානායකවරයා විසින් පිළිගෙන සභාට ප්‍රකාශයට පත් කිරීමේ සම්ප්‍රදාය ඉතා පැහැදිලි සහ නිශ්චිත වූවක් බව මීට පෙර අවස්ථාවන් අධ්‍යයනයේදී, මොනවට පැහැදිලි වේ.

2015 ජනවාරි මස 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් අනතුරුව හත්වැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය නිර්මාණය වී තිබූ ආකාරය පිළිබඳව අප සලකා බැලිය යුතුමය. ගරු රනිල් වික්‍රමසිංහ මහතා, එකී පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරයන් කණ්ඩායමක් ආණ්ඩු පාර්ශ්වය වශයෙන් ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා ලද අතර එතෙක් ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගෙන සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගන්නා ලදී.

එම අලුත් වාතාවරණය අනුව විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස හඳුනාගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේදී, විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගත් බහුතර

මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය

සඳහා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදායන්ට අනුකූලව මාගේ පූර්වගාමී කථානායකවරයා විසින් පිළිගන්නා ලදී.

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ පාර්ශ්වයේ නායක ධූරය දරන ලද එම කාල සීමාව තුළදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක්

අමාත්‍යවරයන් වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන ලද අතර සම්ප්‍රදායානුකූලව ඔවුන්ටද ආණ්ඩු පාර්ශ්වයේ අසුන් වෙන් කරන ලදී.

දැනට බලාත්මකව පවතින ජාතික ආණ්ඩුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල්කාර පක්ෂයක් වීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ මෙම තත්ත්වය වෙනස් වී තිබෙන ආකාරය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී තිබේ.

ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයන් පිරිසක් අමාත්‍ය ධුර දරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විරුද්ධ පාර්ශ්වයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව විරුද්ධ පාර්ශ්වයේ වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2015 සැප්තැම්බර් මස 03 වැනි වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද එකී යෝජනා සම්මතය අනුව හැකියාවක් මා හට නොමැත.

වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සම්බන්ධ නොවන විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින ඉලංකෙයි තමිල්

අරසු කච්චි පක්ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස මා විසින්

පිළිගන්නා ලද බව 2015 සැප්තැම්බර් මස 03 වැනි දින මෙම ගරු සභාවට ප්‍රකාශ කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

කරුණු මෙසේ හෙයින්, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත්,

සම්ප්‍රදායානුකූලවත්, මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොපවතින බව මාගේ අවසාන තීරණය ලෙස මෙයින් ප්‍රකාශයට පත් කරමි."
 යැයි ada.lk  වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි

No comments:

Post a Comment